කුමාරතුංග මුනිදාස මාවතෙන් පිටත් වෙලා ආව බයික් එක කිරුළපනත් පහු කරන් ඉස්සරහට ඇදෙන ගමනුයි තිබුණේ. හිත අස්සේ නලියන අවිනිශ්චිත සිතුවිලි ගොන්නත් එක්ක හිත තැන තැන දුවනවා. එයාගෙ පපුව අස්සෙ වේදනාවකින් බර වෙලා තියෙන අනන්ත අප්‍රමාණ හැඟීම් සමුදායට එක වරම එළියට විසික් වෙන්න තරම් පපුවට තඩි බා ගෙන තඩි බා ගෙන යන්න පවා හිතෙනවා.
ඒත් හිත මොනා කිව්වත් කරන්න ඕනි හැමදේකටම දෛවය විසින් උත්තරයක් දෙනවා. ඒ බව නොදන්නවා නෙවෙයි. ජීවිතයේ උන්මන්තක කාල වකවානුවක් නොලද ජීවියෙක් මිනිහෙක් වෙන්න බෑ. මනුස්සයෙක්ට උමතුවෙන් වගේ ආදරේ කරන්නත් අවස්ථාවක් හිමි විය යුතුමයි.
ජීවිතයේ සමහරක් තැන් මතකයට නැගෙන ඇසිල්ලෙම හිතෙන්නේ ඒ බයික් එක තවත් වේගයෙන් අරන් ගිහින් තාප්පයක හරි ලයිට් කණුවක හරි හප්ප ගන්නමයි. ඒත් ජීවිතය කියන්නේ ලෙහෙසි පහසු තාලෙකින් ලැබෙන දෙයක් නොවන බව එයා දන්නවා. ඊටත් එහා ගිහින් දැන් එයාට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. එයා ඒ ගමන යමින් උන්නෙත් ඒ බලාපොරොත්තුව හොයාගෙන..
එයාට බයික් එක අරන් යන්න පුළුවන් උපරිම වේගය කොච්චරද එයා ඒ වේගයෙන්ම කිරුළපන පහු කළා. හිතේ ආවේගය , බය , පීඩනය එක්ක ඇති වෙලා තිබුණු දහසකුත් සිතුවිලි ගොන්න හරි හරියට මහා ලොකු තරඟයක..
කොටුවට ඇවිත් කොළඹ - රත්නපුර බස් එකකට ගොඩ වෙච්චි පන්හිඳ මොහොතක් බලන් උන්නේ අහස දිහා. ඉර හොඳටම සැර වෙලා. මද්දහනේ රස්නය දැන් දැන් ළඟ ළඟම එන ගමනුයි තිබුණේ. එයා ඉර එළියෙන් නිලංකාර වුණු ඇස් දෙක කරකවලා අහසේ එක් කෙළවරක් බැලුවා. ඒ පැත්ත නම් නිල් කැටයක් වගේ. ඒ තරමටම නිල් පාටයි. මුළු අහස පුරාවටම නිමක් නොපෙනෙන නිල් පාට විතරමයි. ලා , තද නොයෙක් පැහැයන් තවරාගත්තු නිල් පාට..
කොළඹ කොටුවට වෙලා රත්නපුර කොළඹ අලුත් පාර බස් එකකට ගොඩ වෙලා ඔහේ අහස දිහාවට යොමු කරන් ඇස් දෙක ඒ මේ අත කරකවන අතරේ එයාගේ ඇස් මානයට යොමු වුණේ රූස්ස ගහක් වගේ අහස අරා වැජඹෙන නෙළුම් කුළුණ.
' මයෙ අප්පේ.. ඒකේ විසාල... '
එයාගෙ හිත කිව්වෙ එහෙම.
සමහර තැන්වල ලෝකය මුණ නොගැසුණු තැන පන්හිඳට දැන් දැන් ඒ දේවල් අරුමයක් වගේ. ඒත් ඒ හිතේ බයක් හැරෙන්න ගතේ බයක් නම් ගෑවිලාවත් නෑ.
මොන බයක් කුමනාකාර විදිහට දැනුනත් එයාටත් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒ බලාපොරොත්තුවත් එක්ක ජීවිතයට වැටෙන්න ඉඩක් කඩක් නෑ. දරාගත යුතු තැන සවිමත්ව අල්ලගෙන ජීවිතයට මූණ දෙන්න තරම් ඒ හිත හරි සවිමත්..
එයා උන්නෙත් එයාගෙ ජීවිතයට ජීවත් වෙන්න හේතුවක් වුනු බලාපොරොත්තුව හොයාගෙන එන ගමන්.. ගමනාන්තය කුමක් වේවිද ?
කිරුළපන හරියෙදි පටන් ගත්තු ගැම්මෙන්ම ගැරඬියා බයික් එක ride කරන් ආවා. ඒ වේගය ඇත්තමයි පෙරළිකාර අශ්වයෙක් වගේමයි. ඒ අසු හරි ජවසම්පන්නයි. ලෝකය ගැන එයාගෙ හිත දන්න දේවල්වලටත් එහා දෙයක් ලෝකයේ තවත් නම් තියෙනවාද මන්දා.. ලෝකය, සමාජය ගැන මහා ලොකු පරිණත බවක් එයාගේ තුළ තිබුණා.
ප්‍රේමය කොයි තරම් බරසාර වුණත් ජීවත් වීම මිනිසාගේ හිතේ තෝරා ගැනීම සතුයි. බරසාර ප්‍රේමයත් , ජීවිතාවබෝධයත් දෙකම නොමැතිව හිතකට ජීවත් වෙන්න පුළුවන්ද..
පන්නිපිටියට කිට්ටු කරද්දි කොහේදෝ යන වාහන පෝළිමක් ඇවිත් ට්‍රැෆික් එකට අහු වෙලා. කොල්ලා නැවතිලා බලන් උන්නේ හිත අස්සෙන් එක එකාට දෙස් දෙවොල් තිය තියා.
' මල කැවුත්ත.. මං හදිස්සි වැඩකට පාරට බැස්සොත් තමා ඔක්කොම කරුම ටික පාත් වෙන්නේ.. '
ට්‍රැෆික් එක අහවර වෙන්නත් මිනිත්තු පහක් විතර ගිය තැන කොල්ලට ඉතින් යක්ෂාරූඪ වෙලයි උන්නේ.
ආ වේගයෙන්ම පන්නිපිටියට ඇවිත් ශ්‍රී සුමංගල මාවතෙන් දාපු බයික් එක ඉස්සරහට ඇදිලා ගියා. හිත තුළ දෙගිඩියාවක් තියෙනවා නම් ඒ දෙගිඩියාව දෙගුණ තෙගුණ වෙලා තුන් ගුණයත් හතර පස් ගුණයත් වෙන්නේ ඕනිම දේකට සමීප වෙන්න වෙන්න..
දැන් දැන් ගැහෙන හදවතේ රිද්මය.. ඒක හරියට ඔරලෝසුවේ තත්පර කටුව නංවන ටික් ටික් හඬටත් වඩා වේගයෙන් ගැහෙන ගානයි. අවිනිශ්චිත වේගයක් එක්ක වැඩි වෙන හෘද ස්පන්දනයට අවනත වෙනවා වෙනුවට තරවටු කරාපු ගැරඬි උතුමාණෝ හිත සන්සුන් කරගෙනම ළඟ ළඟම පේන බෝඩිම් හවුස් එකට කිට්ටු කළා.
බෝඩිම් හවුස් එකේ මිදුලට දාපු බයික් එකේ හඬත් එක්ක එතුවක් වෙලා නින්දේ උන්නු සත්සිඳු එහෙම්මම ඇස් විවර කළා. ඒ ඇහුණු හුරුපුරුදු බයික් එකක හඬ.. ඒ හඬත් එක්ක එයාගෙ හදවත එහෙම්මම තිගැස්සුණා. තිගැස්සුන හදවතින්ම අමාරුවෙන් උන්නත් එයා හෙමින් සැරේ ඇඳෙන් බිමට බැහැලා අඩි තිය තියා දොර දිහාවට එන්න වුණා.
මිදුලේ නවත්වපු බයික් එකෙන් බැහැලා ඉස්සරහට එන ගමන් එයා වටපිට බලන්න වුණා. ඒත් එක්කම තිබුණු අනිත් කාමරවල නම් ඔක්කොම වගේ දොරවල් ජනෙල් වහලයි තිබුණේ. ඒත් එකම එක කාමරයක විතරක් විවර කරලා තිබුණු ජනෙල් කවුළුව අස්සෙන් එයා දැක්කේ කහ පාට විදුළි බුබුළක් දැල්වෙන එළියක්.
එහාටම වෙන්න වගේ තිබුණු සේපාලිකා ගහක් රූස්ස තාලෙට වැවිලා තිබුණේ හොඳින් අතු පතර විහිදාගෙන. හරියටම කිව්වොතින් එයා ඒ සේපාලිකා මල් ගහ දැක්කෙත් කුමාරතුංග මුනිදාස මාවතේ පෞරාණික නුග ගහක් වගේමයි. එයා ලෝභ කරන විදිහේ පෞරාණික පෙනුමැති අඳුරු පෙනුමක් බෝඩිම් කාමර පේළියේ එහාටම වගේ වෙන්න තිබුණා.
වටපිට බල බලා පාරිසරික සුන්දරත්වය නරඹන වෙලාවක් නෙවෙයි ඒක. තත්පර දෙක තුනට ඒ හැමදේම සිද්ධ වෙද්දි මිගාන් ජනෙල් කවුළුවකින් ලාවට කහ පාට එළියක් පෙනෙන කාමරයේ දොර ගාවට ගිහින් තට්ටු කරන්න වුණා.
" කවුද.. ? "
කාමරේ ඇතුළෙන් ඇහුණේ එයාට හුරුපුරුදු හඬ වුණත් ඒ හඬ බැරෑඬි වෙලා වගේ. මූණේ එකපාරටම මතු වුණු හිනාව යාන්තමට අතුරුදන් වෙලා ගියේ ඒ හඬේ බිදුණු ගතිය එයාට හොඳටම තේරුම් ගියපු නිසාමයි. ඒත් එයා ඉන්නවා . බයෙන් ගැහි ගැහී උන්නු හිත යාන්තමට සැනසීමක් ලැබුවේ ඒ මොහොතෙදී..
" මම.. ඩිනෝ මිගාන් සමරදිවාකර... "
එයා කිව්වෙ මූණේ අතුරුදන් වෙලා ගියපු හිනාව ආයෙමත් යාන්තමට වගේ රඳවගෙන .
" දෙයියනේ... "
කොල්ලට එහෙම්මම කියවෙද්දි නම් ගැරඬියටත් හිනා ගියා.
සත්සිඳු එහෙමම දොර විවර කරලා බැලුවා. දොර විවර කරලා බැලුවට මොකද එයාගේ හිතේ තිබුණේ ලොකු සැකයක් . හිත අස්සෙ දැන් දැන් නලියන හැඟීම් ගොන්නක් ඒ වෙලාවෙදි එයාගෙන් එලියට ආවා. ඒ හැම හැඟීමක්ම වචනයට පෙරලන්න පුළුවන්කමක් තිබ්බනම් පොත් ගානකුත් ගිහිල්ලා තවත් පිටු ගානකුත් යනවා සත්තකින්ම.
දොර විවර කරලා බලද්දි එයාගෙ ඉස්සරහා හිටගෙන උන්නු ඒ කඩවසම් පිරිමි රූපකාය.. සුපුරුදු විදිහටම සුපුරුදු හිනාවෙන් සැරසිලා එයා බලන් ඉන්නවා. ඒ හිනාව නම් වශියක්. ඇත්ත, වෙනදා වගේමයි. කිසිම වෙනසක් පේන්න නෑ. ඒත් උන්නු තැනත් , ඒ ආඩම්බරකාර ඇස් දෙකෙත් මොකක්දෝ වෙනසක් තිබුණා.
වෙනදා මුණ ගැහෙන අර කුමාරතුංග මුනිදාස මාවතේ පෞරාණික නුග ගස් හෙවණ වෙනුවට එදා එයා ඇවිත් උන්නෙ කොල්ලගේ බෝඩිමට. සත්සිඳු ආපු නැති එක ගැන තිබ්බ ප්රශ්නකාරී හැඟීම ගැරඬියගේ ඇස් දෙකේ හරි අපූරුවට ලියවෙලා තිබුණා.
" සර්... ඔයා...! "
" ඔව්.. මං තමයි.. "
එයා හිනා වෙලාම උත්තර දුන්නා.
" ඒත්.. ඒත් ඇයි මෙහේ ? "
" ඇයි අහන්නේ... "
" ඇයි හදිස්සියේ.. ? "
" අහ්.. හදිස්සියක් නෑ. බය වෙන්න කිසිම හේතුවක් නෑනෙ මට.. මට හිතක් පපුවක් නෑ.. මට තියෙන්නෙ ගල් හිතක්නේ.. ඉතින් මං කලබල වෙන්නෑ... "
එයා කිව්වේ නෝක්කාඩුවෙන් වගේ.
" අනේ සර්.. ඇයි මේ ? "
" ඇයි අහන්නේ මොකක්ද.. ඩිංගක් හිතුවෙ නැද්ද මං කොච්චර බය වෙයිද කියලා.. මං.. මං කොච්චර කලබල වෙයිද කියලා හිතුවෙ නැද්ද.. ආ.... එක ඩිංගක් හිතුණෙ නැද්ද එහෙම... කියන්න මට... "
" අනේ සර්... "
" ෂ්... ඇති.. හොඳටම ඇති... නවත්තගන්න... "
මිගාන් කිව්වෙ සත්සිඳුගේ දෙතොල් පෙති මත එයාගෙ දකුණතේ දබරැඟිල්ල තියලා තද කරන ගමන්..
" මාව මෙහෙම බය කරවන්න එපා මගෙ දරුවෝ.. මං හරි බයයි ඔයා ගැන.. එදා වගේ ආයෙමත් නොකියා ගියොත් මං පපුව පැලිලා මැරෙයි.. ඔයා මං මැරෙනවට ආස නම් එහෙම කරන්න.. ඒත් මට මෙහෙම කරන්න එපා.. මගෙ ආදරේට මේ වගේ දඬුවම් දෙන්න එපා දරුවෝ... "
" සර්... "
" babybabe... "
ගැරඬියා බලන් උන්නේ එයාගෙ ඇස් දිහාමයි. ඒ ඇස් දෙකේ තිබුණු වෙහෙසකාරී බව එයා හොඳටම දැක්කා.
" ඔයා අසනීප වෙලා නේද ? "
එයා උත්තර දුන්නෙ නෑ. ඔහේ බිම බලාගෙනම උන්නු සත්සිඳුගේ මූණ නිකටෙන් අල්ලලා යාන්තමට ඔසවන ගමන් ආයෙමත් මිගාන් ඒ ඇස් එක්ක එයාගෙ ඇස් පටළව ගත්තා.
" ඇයි කතා කරන්නැත්තේ.. කියන්නකෝ මගේ දරුවෝ... "
" උණ ගත්තා ඉතින්... "
එයා යාන්තමට මිමිණුවා.
" උණ ගත්තා...! කියන ලස්සන ඒක.. ඇයි මට කිව්වෙ නැත්තේ..? ම්.... "
" අනේ ඉතින් , number එකක් එහෙමවත් නෑනේ... "
" ඔයා දෙන්නෙත් නෑනේ.. ම්... "
එයා කියද්දි සත්සිඳු ආයෙමත් බිම බලාගත්තා.
" ඒ පාර ඇස් මඟ අරිනවා.. ඕකනේ බැරි... "
එතකොට නම් සත්සිඳු හිනා වෙලා හිස එසෙව්වේ ගැරඬියා දිහා බලන ගමන්.
" අන්න හරි.. ඔන්න ඔහොම ඉන්න.. හැමදාමත් ලස්සනට හිනා වෙලා ඉන්න.. ඔය ඇස් දෙකට කඳුළු බිංදු ගැලපෙන්නේ නෑ.. ඔය මූණ ලස්සනම මෙන්න මේ වගේ හිනාවකට... "
එයා කිව්වෙ සත්සිඳුගේ කම්මුල් දෙක යාන්තමට මිරිකන ගමන්. ඒත් එක්කම දෙන්නම හිනා වුණා.
" තාම උණද..? "
" බලන්නකෝ... "
එයා කිව්වෙ අහිංසක විදිහට .
" කෝ එන්න බලන්න.. "
එයා තව ටිකක් මිගාන්ට ළං වෙද්දි මිගාන් එයාව ළඟට අරන් නළලට අත්ල තියලා බැලුවා. ඒ නළල හරියට රස්නෙයි. ඒත් එක්කම ගැරඬියගේ ඇස් දෙක එහෙම්මම උඩ ගියා.
" දෙයියනේ දරුවෝ... හොඳටම උණනේ... "
" ගොඩාක්...? "
" ගොඩක් තමයි.. යං යං ලෑස්ති වෙන්න.. අපි බෙහෙත් ගන්න යං... "
එයා කියද්දි සත්සිඳු අදි මදි කළේ යන්න බෑ කියන්න වගේ.
" අනේ සර්... අනේ දැන් යන්න බෑ... "
එයා අදිමදි කරන්න වුනාම මිගාන් එයාගේ උරහිස් දෙකෙන් තද කරල අල්ලගෙන එයාගේ මූණට නැඹුරු වුණා. ඒත් එක්කම ඒ තියුණු ආඩම්බරකාර කළු හීනි ඇස් දෙකේ බැල්ම ඉස්සරහා ඉටිපන්දමක් දිය වෙලා යන්න වගේ හදවතත් දියාරු වෙලා යද්දි එයා ඒ ඇස් දෙක මඟ හැරලා එහෙම්මම බිම බලාගත්තා.
" එනවද නැද්ද...? "
එයා ඇහුවේ රළු කටහඬ තවත් තියුණු කරලා.
" එන්නම් ඉතින්.. "
" අන්න එහෙම.. දැන් යනවා, ගිහින් ලෑස්ති වෙලා එනවා... "
එයා කිව්වෙ රළු විදිහට ඇහි බැමත් හකුළුවගෙන. ඒ හඬ හරි දරුණු පෙනුමැතියි. එයා දිහා නොබලම ආයෙමත් කාමරය ඇතුළට යන්න හදන ගමන් සත්සිඳු ආපස්සට හැරුණේ අහිංසක විදිහට එයා දිහා බලාගෙන.
" ඇතුළට එනවද ? "
ඇහි බැමත් හකුළුවාගෙන එයාට කතා කරපු කොල්ලා දිහා බලලා ගානකටවත් ගන්නෙ නැතුව අහක බලාගත්තු මිගාන් ඒ ඇස් යොමාගෙන උන්නේ අර කාමර පේළියේ කෙළවරට වගේ වෙන්න තියෙන සේපාලිකා ගහ දිහාවට. එයත් එක්ක කතා නොකර ඇතුළට ගිහින් මූණ අත පය සෝදගෙන ඇවිත් අළු පාටට හුරු cotton trouser එකට රතු පාට පසුබිමේ කහ පාටට හුරු මල් වැටුණු අත් දිග ෂර්ට් එකක් ඇඳලා normal බාටා සෙරෙප්පු දෙකකුත් දාගෙන සූදානම් වුණා. එයා ලෑස්ති වෙනකන් මිගාන් බලන් උන්නේ ඒ කොළ පාට වටපිටාව දිහා.
ලෑස්ති වෙලා එළියට ඇවිත් එයා උගුර පෑදුවේ කොල්ලට ඇහෙන්න. ඒත් එක්කම මිදුලට වෙලා හීතල හුළං රැල්ලක පහස විඳිමින් උන්නු ගැරඬියා ආපස්සට හැරුණම සත්සිඳු එයත් එක්ක හරි ලස්සනට හිනා වුණා.
" ලෑස්ති වෙලා ඉවරද..? "
එයා ඇහුවේ පුරුදු රළු විදිහෙන්මයි. එයා කතා නොකරම ඔළුව වැනුවේ ඔව් කියන්න වගේ.
" එහෙනම් යං... "
එහෙම කියාගෙනම එයා බයික් එක ගාවට ගිහින් ආපස්සට හැරිලා බලද්දි සත්සිඳු හෙමින් හෙමින් එන හැටි දැක්කා.
" ඉක්මනට එනවා ඉතින්... "
එහෙම කියාගෙනම මිගාන් බයික් එකට ගොඩ වුනාම සත්සිඳු පය ඉක්මන් කරලා එතනට ඇවිත් බයික් එකට ගොඩ වුණේ එයාගේ උරහිස් දෙක අල්ලගෙනමයි. බයික් එකට නැගලා එක වතාවක් සත්සිඳුට නොපෙනෙන්න side mirror එකෙන් එයා දිහා බලපු මිගාන් එයාට නොපෙනෙන්නම යාන්තමට හිනා වුණා.
බලන් යද්දි එයත් හොඳ නළුවෙක්. බොරුවට මවාගත්තු රළු බව ඉස්සරහා සත්සිඳු අහිංසක විදිහට ඉන්න වාරයක් පාසා එයාගේ හිතේ ඇති වෙන්නේ පුදුමාකාර ආදරයක්. ඒ හිතේ එයා ගැන ඇති වෙලා තුබූ ආදරේ එන්න එන්නම වැඩි වෙද්දි හිත හරි හරියට අකීකරු පෙරළියක නතර වෙලා.
බයික් එකත් start කරගෙන ශ්‍රී සුමංගල මාවත දිගේ ඉස්සරහට ඇදෙන ඒ දෙන්නා යන අතරේ එකම එක වචනයක්වත් කතා නොකළ තරම්. බෙහෙත් ගන්න ගිය medical center එකට ගිහින් සත්සිඳුත් එක්කම ඇතුළට ගිය මිගාන් doctor එක්ක කතාවට වැටුණා.
" එතකොට doctor මේ ටික බිව්වම හරි යයි නේද.. ? "
" ඔව් ඔව්, බයවෙන්න දෙයක් නෑ... "
Doctor කිව්වේ හිනා වෙන ගමන්. අවුරුදු පනහක විතරක් පෙනුමක් තිබුණු පිරිමි වෛද්‍යවරයා මිගාන් දිහා බලන් උන්නේ පුදුමයෙන් වගේ.
" මෙයාගෙ කිසිම පරිස්සමක් නෑ doctor.. කොච්චර කිව්වත් අහන්නෙත් නෑ.. "
එයා ඔහේ කියවනවා. සත්සිඳු උන්නේ මුගෙ කටට ප්ලාස්ටර් ගහන්නේ කොහොමද කියලා හිතන ගමන්..
" මෙයා මිස්ටර්ගෙ කවුද..? "
Doctor එක පාරටම ඇහුවේ දෙන්නවම කරකවලා අත් හරින විදිහේ ප්‍රශ්නයක්.
" අහ්.. මේ.. මේ.. මෙයා මගෙ.. මගෙ මල්ලි doctor... "
මිගාන් කිව්වේ ගොත ගහ ගහා වගේ.
" ආ..... ඒක මිසක්.. හරි එහෙනම්.. ඔය ටික ගන්නකෝ.. බයවෙන්න දෙයක් නෑ.. ඉක්මනට අඩු වෙයි.. ටිකක් bed rest කරනව නම් හොඳයි... "
" හරි doctor... "
මිගාන් එහෙම කියලා සත්සිඳුත් එක්කම එළියට ඇවිත් බෙහෙත් ටිකත් අරගෙනම මෙඩිකල් සෙන්ටර් එකෙන් එළියට බැස්සා.
" යන ගමන් මොනා හරි කාලා බෙහෙත් ටිකත් බීලම යමු... "
බයික් එකේ ඇවිල්ලා පන්නිපිටියට ටිකක් කිට්ටුව hotel එකකට දෙන්නත් එක්කම ඇතුල් වුණේ මොනා හරි කාලා යන්න කියලා හිතාගෙන. ගොඩක් ලොකුත් නැති ගොඩක් පුංචිමත් නැති තරමක ප්‍රමාණයේ හෝටලේ ඇතුළට ගිහින් දෙන්නම අසුන් ගත්තට පස්සේ හෝටලේ වැඩ කරන කොල්ලෙක් එයාලා ගාවට ඇවිත් කතා කළා.
" මොනාද සර් ඕනි..? "
" මොනාද තියෙන්නේ මල්ලි..? "
" රයිස්, කොත්තු, පරාටා, ඉඳි ආප්ප... අ..ෂෝටීස් තියෙනවා රෝල්ස්, කට්ලට්, වඩ, උඳු වඩ, එළවළු රොටී... "
කොල්ලා හෝටලේ තියෙන මුළු කෑම ලැයිස්තුවම කියාගෙන ගියා.
" ඔයා රයිස් කනවද..? "
මිගාන් රහසින් වගේ ඇහුවේ සත්සිඳුගෙන්. එයා මොකුත් නොකියම හිස වැනුවේ බෑ කියන්න වගේ.
" එහෙනම්.. ඉඳි ආප්ප..? "
" හා.... "
එයා උත්තර දුන්නම මිගාන් ආපහු හැරුණේ හෝටලේ කොල්ලා දිහාවට.
" එහෙනම් මල්ලි දෙන්නටම ඉඳි ආප්ප ගේන්න..."
" හරි සර්... "
එහෙම කියලා ඒ කොල්ලා එතනින් ගියා. ඒත් එක්කම වගේ මිගාන්ගේ දෙනෙත් ආයෙමත් යොමු වුණේ සත්සිඳුගේ දිහාවට. ඒ දෙන්නගේ ආයෙමත් වතාවක් ඒ මොහොතෙදි පැටළුණා.
" බඩ පිරෙන්න කනවා හරිද.. බඩගින්නෙ ඉන්නෙපා.. බෙහෙත් ටික බොන්නත් ඕනිනේ... "
" හ්ම්... "
එයා එහෙම කියලා ඔළුව වැනුවා විතරයි. ඒත් ඒ සතරැ'ස් නම් එකට පැටළුනු විදිහමයි. ඒ ඒ බැලුම් මාත්‍රයක් පවා කතා කරන්නේ එයාලගේ හදවත් වලට..
" තරහා වෙන්නෙපා ඉතින්.. මට කේන්ති යනවා ටිකක්... "
එයා කිව්වේ ඒ ඇස් දිහා බලාගෙනමයි .
" හ්ම්... "
එයා ගානකට නොගෙන වගේ උත්තර දුන්නා.
" ඔන්න ඕකයි ප්‍රශ්නේ... දැන් තරහා වෙලාද ඔය මා එක්ක...? "
" අපෝ නෑ... "
" එහෙනම්..? "
" මං දන්නෑ... "
" එගෙනම් මොනාද දන්නේ..? "
එයා ඇහුවෙ විහිළුවෙන් වගේ.
" මං දන්නෑ අනේ.. මට ඔහොම රිද්දන්න එපා.. ඔයා වගේ තමයි සර් , මාත් මනුස්සයෙක්.. මටත් තියෙන්නෙ හිතක්.. රිද්දන සැරයක් ගානේ අඬන්නැතුව ඉන්නෙ කොච්චර අමාරුවෙන්ද කියලා ඔයාට තේරෙන්නෑ.. ඒකනේ මට මෙහෙම කරන්නෙ ඔන්න..... "
එයා රහසින් කොඳුරන ගමන් දොස් නගන්න වුණාම මිගාන් බලන් උන්නේ හිනා වෙවී.
" හිනාවෙන්නේ.. ඔව් ඔව් , ඔයා හිනා වෙවී ඉන්නකෝ.ඔන්න... "
නෝක්කාඩුවෙන් වගේ එහෙම කිව්ව කොල්ලා අහක බලාගත්තේ ගස්සලා වගේ.
" හැප්පෙයි මූණ බිත්තියක.. ඔච්චර කේන්ති ගන්නෙපා, නාකි වෙයි.. මට බෑ නාකියෙක් එක්ක honeymoon යන්න... "
එයා කිව්වෙ හිනා වෙවී..
" ආ.. ආස ඇති... "
" ආසයි තමා.. නැත්නම් කියන්නෑනේ.. "
" අනේ මේ... "
ආයෙමත් වතාවක් නෝක්කාඩුවෙන් වගේ අහක බලාගත්තු සත්සිඳු ඒ තත්පරෙන් ආපහු හැරිලා මිගාන් දිහා බැලුවේ කට කොණකින් හිනා වෙන ගමන්.
" ඔන්න ඔහොම හිනා වෙලා ඉන්නවකෝ.. කොච්චර කිව්වත් අහන්නෑ.. "
ඒත් එක්කම වගේ දෙන්නා අතරෙම තිබුණේ ලොකු නිහඬතාවක් . ඒත් ඒ නිහඬතාව අස්සේ ඒ ඇස් යුගල ද්වය හරි අපූරුවට පැටළිලා තිබුණේ හැඟීම් සිතුවිලි අනන්තයකට කිමිදිලා යන අතරතුරේදිමයි. හෝටලේ උන්නු හතර පස් දෙනා උන්නේ ඒ ඒ අයගේ ලෝකවල. තවමත් ඉඳි ආප්ප ලැබුණේ නෑ. ලොකු නිහඬතාවයකට පස්සේ ඒ ඇස් දිහා බලාගෙනම සත්සිඳු එයාගේ හඬ අවදි කළා.
" ඇයි මාව මෙච්චර පරිස්සම් කරන්නේ.....? "
එයා ඇහුවේ අහිංසක විදිහට යාන්තමට තොල් සොලවමින්. ඒත් එක්කම ඒ ඇස් දිහා බලාගෙනම අර හිතුවක්කාර දඩබ්බර ගැරඬියා දුන්නේ හිත ආදරෙන් කීරි ගැහෙන උත්තරයක්..
" කොච්චර ලස්සන සුවඳ මල් පිපුණත් වැඩක් තියෙනවද.. වැඩියෙන්ම බුදු හාමුදුරුවන්ට පූජා කරන්න ගන්නෙත් වතුසුදු මල්නේ..."
මීළඟ කොටසට ...