Cherreads

පුරහඳ කළුවර

ANDRYRAFAELLO
63
chs / week
The average realized release rate over the past 30 days is 63 chs / week.
--
NOT RATINGS
4.5k
Views
VIEW MORE

Chapter 1 - 01

වෙලාව හරියටම දහයයි....මේ පටන් ගන්නෙ දහයෙ කනිසමයි!ලක් එෆ් එම්..අපිව අහන්න අනු අටයි දශම අට සුසර කරන්න...වෙනදා වගේම ඔයාගෙ ගෙදරට....

නෑ....ඇත්තටම ඔයාගෙ උනුසුම් හදවතට මේ රෑ යාමෙ එන මම...

සියපත් ආකාස බ්‍රාහ්මනගෙ

ආයමත් වෙලාව මතක් කරන්නම් වෙලාව හරියටම දහය පහුවෙලා විනාඩි එකයි.....ඉතින්....රැයක් ගෙවිලා...ආපහු රැයක් ලබන තැන මං ආයමත් ආවා ඔයාව බලන්න....

අර කතාවක් තියනවා...රෑ බෝවෙන්න රෑ බෝවෙන්න ආදර හැගීම් මෝදුවෙනවා කියලා නොසෑහෙන්න...ඉතින් මේ පටන් ගන්නෙ ආදර තත් උච්ච ස්වරෙටම සුසරකරන ප්‍රේමනීය හෝරාදෙක.....

...........මුලින්ම අපි සින්දුවක් අහමුද....නැත්තන්...ආදර කතාවක් කියවලා සින්දුවකට යමුද...

දන්නවද මට එහාපැත්තෙන් දැන් කෝපි එකක් තියනවා...අතේ තියන පන ගහන පෙම්හසුන් අහුරෙන් කාන්දුවෙන පෙම් සුවදයි....කෝපි එකෙන් විහිදෙන කෝපි සුවදයි....මට පැත්තෙන් තියන ජනේලෙන් කොලඹ අහසට පායපු හදයි දකින මගෙ හදවත කවදටත් වඩා ආදරෙන් පුරවනවා කියලා.....එ විතරක් නෙවෙ කවදාවත් නැතුව මල් සුවදකුත් එනවා....

ඇපල්මල් සුවදක්.....

හ්ම්....

" සුදු මැනිකට ආදරෙන්....

වචන හුගක් නෑ.....උඹ තනිකරම ඇපල් මලක්...!

රැයක් පටන් අරන් රැයක් ගෙවෙන තත්පරෙ වෙනකම්ම මගෙ හැම හීනෙකම ඉන්නෙ උඹ .....

පින්තූර කවදද බන්හිනා උනේ...

උඹ දකින තත්පරේ වෙනකන් මං හිතන් උන්නෙ එහෙම....

හැබැයි දැන් මං පිලිගන්නවා...පින්තූරත් හිනාවෙනවා ලස්සනට...."

මම රුවින්ද තත්සර

තිඹිරිගස් යායෙන්

(අයියෙ අනෙ පුලුවන් නම් මට මේකත් එක්කම ඔබ ඇපල් මලක් වාගෙ සින්දුව දෙනවද....?මේක එයා වෙනුවෙන්...මගෙ සුදු හාමින්ගේ නම අමා)

රුවින්ද...එහෙනම් මේ ඇපල්මල් සුවද ඔයා වෙනුවෙන්....ඒ වගේම සුදු හාමිනෙ අමා වෙනුවෙන්....

_______________________________

චටස්!!

අත් ගොබේට ගහපු පාරට අතට වහපු මදුරුවා අත්ගොබේට ඇලිලා ගියා.....මලගමක් අස්සෙ තවත් මලගමක්...වෙලාව හරියටම දහයෙ කනිසම පහු උනා විතරයි....

බෙනෙ කෝපි එකක්...

දැන්ම එපා අයියෙ....අප්පුච්චා දියන් ඔය ඇත්දලේ....

පහන ඩිංගිත්තක් පස්සට කොරපන් ...

මේ ඇත්ද...ඉඩක් නෑ බන් අප්පුච්චා කොහෙ ගහන්ඩද...

බුලත් හපෙ ඒ හක්කෙන් මේ හක්කට මාරු කරපු මං තව ඩින්ග වෙලාවකින් පනගහන්ඩ බලාන උන්න මලපහන දශමයක් දෙකක් පස්සට කරලා ගෙනාව ඇත්දල දෙක දෙපැත්තට තියලා ආපිට හර්ස් එක ගාවට දිව්වා....

"මනෝරත්න අවමංගල්‍ය අධ්‍යක්ශක වරු

මනෝරත්න මල්ශාලාව

අනුරාධපුර "

කාලෙකට කලින් දිලිසුන දැන් දැන් ඇල්මැරුන පාට ගත්ත පිත්තල මල්පෝච්චි දෙක කිහිල්ල අස්සෙ ගහගත්ත මං ආපිට ගෙට යන්ඩ හැරුනා....හත් අටපලකින් පුපුරපු මැටි ගෙදරත් මැට්ටෙම්ම හදාපු පිල්කඩ උඩ ඉදගන උන්න හූල්ලන් ඉන්න සමනග් අම්මත් දැක්ක ගමන් කිහිල්ලට හිරවෙල තිබුන පිත්තල මල්පෝච්චිය ඉබේටම බුරුල් උනා...

"සමනා..."

කරුමෙක මහත...මිනියක් නොදැකම මට ඒකගෙ පෙට්ටිය හදන්ඩ උනා.....

උන්ට කොටි ගහලලු.....ඉස්සරහට කෙලගන කෙලගන යනකොට රොත්තක්ම බෝම්බෙට ගිහින්ලු...සමනගෙ කෙල්ලට තාම දෙමාසයයි...ඌ කෙල්ලගෙ මූන දකින්නවත් ආවෙ නෑ....යුද්දෙන් මැරෙන කොල්ලො රොත්තෙන් බාගයක්ම අයිති මේ වේලුන පොලවට

පුරහද පායලා.....

මරනෙකට උරුම කලු සුදු ඇදුමක් වෙනුවට වැව ගාව ගලේ අපුල්ලා අපුල්ලා පාට ගියපු ඇගටම දිය උන මල්වල පාට මැරුන චීත්තපට ඇදන් වැලමදුලු වගෙ එල්ලෙන දෙතනත් හම්පඩ වෙලා ගියපු හැට්ට කෑල්ලකින් යන්තමින් වහන් කරන් උන්න සමනගෙ අම්මා දිහාව බලන් උන්න මම එහෙම්ම කටේ තිබුන බුලත් චප්පෙන් කටට උනාපු බුලත් කෙලපාරක් එලියට ගහලා එහෙම්ම හර්ස් එකට හේත්තු උනා...

රෑ බෝවෙන්ඩ රෑ බෝවෙන්ඩ හතරවටම උන් ගෙට වෙනවා...එක්කො අලි ගහනවා...එක්කො කොටි ගහනවා.....ඔය මොකුත්ම නැත්තන් වල් ඌරෙක් හරි රෑ බදුල්ලෙක් හරි ගහනවා....

පායපු පුරහදට හාදු තියාගන වලාකුලු හුලන් පාරත් එක්ක කොහෙට්ටද මන්දා යන්න යනවා....ඒ හැම වලාකුලක් එක්කම සමනගෙ අම්මගෙ හිල්ලුමත් එතිලා යනවා.....

සමනගෙ අප්පට ගානක් නෑ.....මිනිහට දැන් අවුරු ගානකට උඩදි සිහි විකල් උනා....ඒකත් සමනගෙ අයියගෙ මලකද ගෙදට්ට ගෙනාව දා....

ලන්කා කොඩිය පොරෝපු බාලපෙට්ටියකින් සමනගෙ අයියා ගෙදට්ට ආව දා පෙට්ටිය ගෙට ගන්ඩවත් දොරකොඩ පලල් උනේනෑ...

අදත් ඒ මැටි ගේමයි....එදා කඩපු කැඩිල්ල තාම එහෙමයි.....එදා සමනගෙ අයියගෙ මලකද ගන්ඩ ඉඩමදි උන ගෙදර සමනගෙ මලකද ගන්ඩ ඉඩ ඇති උනා...

තව හෝරාවකින් උඹවත් මං ආයම එක්කන් එනවා....උඹගෙ අයියා වගේම සින්හකොඩියෙන් ඔතාගන ....වෙඩිමුර නෑ....මොන මගුලවත් නෑ...එහෙන්‍ යුද්දෙ යනවා...මෙහෙන් අලිවෙඩි පත්තු වෙනවා....ගල්පොත්ත හන්දියෙන් අලිමාරුවෙන්ඩ කලින් උඹව අරන් ගිහින් හෙට ආදාහෙ කරලා මේ මිනිස්සු ආපිට එන්ඩ එනවා.....

හෙලුවෙන් ඇවිදින් හිස් අතින්‍ යන ජීවිත..... අද දවස විතරයි අපිට උරුම හෙටට මක්ක වෙනවද කව්ද දන්නෙ....

කොල්ලා...

අප්පුච්චා

මල්වඩමත් ගෙනෙල්ලා ඔහොම්ම....

මන්දාරම් යසෝධ බෙනරගම

බැදපු පොල් අතුවහල එන්ඩ එන්ඩම දිරාගන යනවා.....මැටි ගහල බැදපු බිත්තිත් ටිකින් ටික කඩන් වැටෙනවා.....සමනගෙ අම්මා සමනට කලියෙන් මැරිලා ගිහින්...වෙනසකට තියෙන්නෙ ඒ සරීර කූඩුවට දැම්ම ඵෝමලින් ගහන්න බැරි එක....යන්තමට නාඩි වැටෙනකොට මං කොහොම කියලා කකුලෙ බලනහරෙ ඇදලා කරවෙලා යන්ඩ බෙහෙත් විදින්ඩද.....

වහින්ඩ යනවද මන්දා බන්.....සමනගෙ අම්මෙ...ඉදල්ල මේන් බත් එකක් ගෙනාවා..මක්කවත් නෑ බන්...කැකිරියි බතුයි...කාපන්.....

වැටකඩුල්ල පන්නන් ආව හුලු අත්තෙ අ‍යිතිකාරි රෑ සීතෙන් බේරෙන්ඩ පපු පදාසෙ චීත්තපටකින් වහන් ඇවිදින් පුපුරලා ගිහින් තිබුන පිල්කඩට තවත් බරක් එකතුකරනකොට මං අහගන වේලුම් කාපු කන්දට පරවේනි උලලේනියෙක් මූසල විදිහට බෙරිහන් දෙනවා...

ඕකා දැන් ටික දොහක ඉදම්ම අඩාගන ඉන්නවා....මනෝරත්න මුදලාලිට ඕකගෙ සද්දෙ කනවැටුන දාමයි මයෙ අප්පුච්චට කිව්වෙ බෙනා ආම්පන්න ලෑස්තිකරපන් හෙට අනිද්දා මලගමක් වෙයි කියලා....එක්කො අලි ගහලා....එක්කො කොටි ගහලා...මුදලාලිත් කිව්වෙ එහෙම...මහ රාත්තිරියෙ කනින් කොනින් වෙඩි සද්දත් හුවමාරුවෙන යාමෙක බූමිතෙල් වැඩියෙන් පිච්චෙයි කියන බයට තිරෙ කොටවෙන්න දාලා තිබ්බ ලාම්පු කුප්පියත් නිවාදාපු මයෙ අම්මා එදා අතපත ගාලා වගෙ මටයි අප්පුච්චටයි බත් බෙද්දෙ ...

බත් හැදි තුනමද කොහෙද එදා මුට්ටියට තිබ්බෙ.....වතුර හිගෙලු....බිත්තර වී නෑලු...යුද්දෙ හන්දා බඩු නෑලු....එදා රෑ උන්දැට බඩගිනි නෑය කියලා කහට කෝප්පෙ බොන්ඩ හදනකොට මට ඇහුනා ඒ බඩත් ගොර ගොර ගානවා...අධිකරනෙන් තැරි ගහල එවපු මිනියක් එක්ක පැය ගානක් ඔට්ටුවෙලා ආව අප්පුච්චා උන්නෙ සුරාමේරෙ මජ්ජපමාදට්ටානාව කඩාගන....

අප්පුච්චගෙ පන්නෙම අතට ගත්ත මාත් උන්නෙ ලාවට වගේ සිල්පදෙ කඩාගන.....අම්මගෙ බඩෙ ගොරනාඩුව එක්ක මං බත්පතම උන්දැට දීලා එදා රෑ එලිවෙනකන් බුලත් හපෙන් කටේ පාලුව යැව්ව...

කිහිලි ගහන් උන්න පිත්තල පෝච්චි දෙකත් අල්ලි දෙකේ ඉඩේ හිරකරපු මං ආපිට අඩුම ගානෙ පැකේජ් එකට යන පෙට්ටියට උරුම අතරින් පතර මල් අටවපු වඩම ගේන්ඩ එලි බහිනකොට මං බලාගන අර හුලු අත්තෙන් තවමත් දුම් පිටවෙනවා....සමනගෙ අම්මා වෙනුවට අර බත්පතෙන් කටක් දෙකක් උගුරෙ හිර වෙවී කාපු සමනගෙ ඇඹේනි සමනා නොදැකපු නොදරුවට කිරි දෙන්ඩ තනේ අදිනවා...

ඒකා නැතුව දැන් එකිවත් කොහෙ හරි හේනකට දියවෙයි....

බෙනා මිනිය ගේනකොට කීය වෙයිද....

පිල්කඩ පන්නන් ආයම හර්ස් එක ගාවට ආව මන් වඩම අතට ගන්නකොට වැව දිහාවෙන් මොකෙක්ද අඩනවා ඇහුනා...

කනකොකාද කොහෙද ....මරනයක් වෙලා අහවරයි.....ඒකා මක්කට ආය අඩනවද....

වේලුම්කාපු මහපොලවෙ අඩිපාරක්වත් නොහොටින තරමට පොලව කට්ටවෙලා ගිහින්.....

වැහිබිදක් වැටුන කාලයක් මතක නෑ....වැව් යාන්ගෙ තනිකරම බඩගෝස්තරේ නැතුව ඉදලා ඉදලා මස ඇටවලට ඇලෙන්නා හා සමානව දැන් හිදීගන හිදිගන ගිහින් මඩත් පෑදිලා....

පෙරහන් රෙදිකඩක් තියලා පුරවන වතුර කලෙනුත් තනිකරම දැන් එන්නෙ අවරහ.....කොරලින්ගෙනුත් දැන් එන්නෙම මඩ රහ.....

මල්වඩම අරගන ආපිට එනවත් එක්කම මන් බලාගන කනාමැදිරියෙක් ඉගිල්ලිලා කොහෙට්ටද යන්ඩ යනවා...ඒ අස්සෙන් සමනගෙ හිතවතෙක්ද කොහෙද අප්පුච්චගෙන් මිනිය ගේන වෙලාව අහනවා...

මොන මිනිය.... සීල් කෙරුවෙ කෙහෙල් කොට දෙකක්!

තව හෝරා බාගෙන් වගෙ ....හෙටම ආදාහෙ ගන්නවද...

ඔව්වා කල් අද්දලා කාටද කොරන්ඩ පුලුවන් දහ දොලහක් ඉදී ඕනනම්.....

ගෙට ආව මං මල්වඩමත් තියලා ඇස් කරකවලා අඩුපාඩුත් බලලා මල්වඩමෙ තිබුන මල්ශාලාවෙ නම ගහපු සුදුපාට කොල කෑල්ල හදනකොට මන් අහගන අප්පුච්චා අර මනුස්සයට තව හෝරා බාගෙකින් මිනිය ගේන්ඩ පුලුවන් කියනවා...

මොනාටත් තියෙන්නෙ එක හර්ස් එකයි....ඔයකොලඹ පැතිවල නම් මිනිය ගෙනියන්ඩයි බඩු අදින්ඩයි දෙකක් තියනවලු ...පහලොස් දහෙ විසි දහෙ පෙට්ටි එක්ක මිනි යන ගමක කොහෙද කියපල්ලකො හර්ස් දෙකක්....?

බෙනෙ උඹට චප්පයක් ඕනද....

දුංකොළ කෑල්ලක් දියන්...

කාර්ඩ් ගහන්ඩ වත් බලු බල්ලෙක් නෑ...කැරම්බෝර්ඩ් නෑ...කෝපි සුවද මේ මොකවත් නෑ.....මලගෙදර තනි රකින්ඩ බලු බල්ලෙක් නෑ.....ගමටම මගෙ අප්පුච්චා බෙනා වෙනකොට මටත් උන් කිව්වෙ බෙනේ කියලා.....

මං දන්න දා ඉදන් ගමේ උන් අපිට නම කියන්නෙ නෑ....බෙනා ...එක්කො බෙනෙ....අපෙ අම්මටත් බෙනාගෙ පවුල....

දවස ගානෙම බඩට බත්පත අනිවාර්ය නොවුන ගමක....වතුරෙ කහටට දත් ඇන්දම කහ ගැහෙන ගමක....ඇග හම තනිකරම තුත්තිරි වගෙ කර්කශක වෙනගමක මාසෙට දහදොලොස් වන්ගියක් වත් කාගෙ හරි ගෙදරකට උඩහින් කෑරලෙක් අඩාගන යනගමක මොන මගුල නැති උනත් උන්ට අර උස් මිටිකම් නම් තිබුනා...

බෙනරගම පවුල...

මේ වියලිකලාපෙ මරනෙකින් කෙරවල වෙන ජීවිතේ එක්ක හැලහැප්පෙන දුගීදුප්පත් පවුලක් කිව්වොත් මං හිතන්නෙ ඒක හරි...

බෙනරගම මගෙ මහ තැන මං දන්න දා ඉදම්ම කරන්නෙ මලමිනි කපන රස්සාව....කවදාවත් නොමැරන උන්ගානට ජීවත් වෙන උන්වත් අවසානෙදි හැඩකරලා යැව්වෙ උදේපාන්දරට මුනිච්චි උනොත් දවසම අහවරයි කියලා මුනිච්චිවෙනවටත් බය බෙනරගම අතින්.....

මගෙ අම්මා.....ඒකිලාගෙ රස්සාව වැදුම් කතුර තම්බ තම්බ තව එකෙක්ව ගෑනු ඇගෙන් එලියට ගන්න එක...

ඒකෙත් හැටි...කටුමැටි ගෙදර අස්සෙ උපතයි විපතයි දෙකම හුස්ම ගන්නවා....

දහය පහුවෙලා...දහයෙ කනිසම දැන් පටන් අරන් ඇති....

වේලුම්කාපු අහසට පායපු හද දිහාවත් ඉදහිටක ඈතින් ඇහෙන සත්තුන්ගෙ සද්දෙත් සැරින් සැරේම මල්වඩම් වලින් එන අවමංගල සුවදත් මුහු උන අමුතු හැගිමක් අස්සෙ උන්න මට මග ඇරුන දහයෙ කනිසම මතක් උනා...

මොනා උනත් උඹට ලස්සන කටහඩක් නම් තියනවා.....

කටට ඇගිලි දෙකක් තියලා කෙලපාරක් ගහපු මං කෙලපාර කට්ට පොලව හූරලා හූරලා ගත්ත වැලි අහුරකින් වහල දැම්මා...

අම්මගෙ වැදුම් කතුර මොටවෙලා කිව්වා.....ඒක පීරිගාන් එන්ඩ හැතැප්ම කීයක් නම් පයින් ගියාද....උදේ පාන්දර හන්දද මන්දා ලන්ගමේ මාව බස් එකට නග්ගත්තෙ නෑ.....බේකරි කාරයා කහට එක බොන්ඩ කඩෙ ඇතුලට එන්ඩ දුන්නෙ නෑ...

සමහර විට මාත් මහ බෙනේ වගේමිනි කපන හන්දා වෙන්ඩ ඇති....ඇරත් උන් කවදාවත් අපිට බනිස් ජාති පුරවපු තැටියක් දුන්නෙත් නෑ තෝර තෝර කන්ඩ වරම් තිබුනෙත් නෑ.....තියන ලිස්ට් එක කිව්වම අහවල් ජාතිය කිව්වම අතට දෙනවා මිසක්...ඕකත් අරගන එලියෙ පුටුවක මිසක් ඇතුලට වද්ද ගන්නෙම නෑ.....

ඒකත් ආම්පන්න බෑග් එක අතේ තිබුන දාක නම් මායිමට ගන්නෙ නෑ...ඇහුවම කියන්නෙ නාලා කරලා ආවට උඹලගෙ සරීර වලින් බේත් ඌස්නෙ ගහනවා කියලා ....එහෙව් කියපු මුදලාලියටම අවසානෙදි අපෙ වැටකඩුල්ල පයින්ඩ උනා ඒකගෙ අප්පව ගෙදට්ට ඇවිත් ලෑස්තිකරලා දෙන්ඩ කියන්ඩ.....

වෙනදට ආම්පන්න මල්ල දකිනකොට උරහිස් අකුලන මුදලාලියට එදා නම් ආම්පන්න බෑග් එක ඒකගෙ ඇගේ ගැවුනත් ගානක් නැති උනා....ඒත් ඉතින් පපුව ගාවින් දෙකටපලාගන ගිහින් මලකදෙ බඩපපුව පලු දෙකට වෙන් උනා විතරයි ඒකත් එදා නිවන් යන තරමට වමනෙ හැලුවා...මං අතින්ම බත්පත කාල නිදාගත්තා...

මා පුතා...

අප්පුච්චා....

යන්ද...

ඇදන් උන්න සරම කැහපයට ගහගත්තු අප්පච්චි ලාම්පු එලියෙන් විතරක් පාට උන ගරාවැටුන මැටිගෙදරින් එලිබහින ගමන් මට කතා කරනකොට මං ඉදගන උන්න තැනින් නැගිටලා ඉදගන උන්න තැන පිහදලා සමනගෙ අම්මා දිහා බැලුවා..හරියටම උඹලට හිරිකිත නම් ඕන් මං පිහදැම්මා කියන්න වගේ.....

වයධම්මා සංඛාරා

අනුරාධපුර මරනාදාර සමිතිය

හර්ස් එක ගැස්සෙනවා....වලවල් පිරුන පාරෙ අඩවන් වෙච්ච ලාම්පු එලියෙන් ඉස්සරහ්ට යන හර්ස් එක ගැස්සෙනවා..දෙපැත්තට පැද්දෙනවා....

වෙනදවගේම හිදීගන යන වැව් යාන්ගෙ කොනකුත් දිරාගියපු ගසුත් තියන ගල්පොත්ත හන්දියට හුස්මක දුර තියලා අප්පුච්චා මගෙ දිහා බැලුවා....

මා පුතා...

අප්පුච්චා ....

ඒකදන්තයා මුරන්ඩු කාරයා.....ඕකට වෙලාව කලාව නෑ...ඇරපන් ඔතනින්....

වලවල් වරුසාවෙන් බෆර් එක බේරගන්න හීන් සීරුවෙ ආව මන් හද එලිය වැටුන හිදීගන එන වැව් යාන්ගෙ දිහාව බලාගන උන්න අප්පුච්චා ගල්පොත්ත හන්දිය ලන්වෙනවා එක්කම කියපු කතාවත් එක්ක දියවේගන යන රබර් සෙරෙප්පුව දාපු කකුලෙන් ක්ලච් එක පාගනවත් එක්කම මන් අහගන ලාවට වගේ " පූ....ශ්..."ගාලාපිඹින සද්දයක් අර වෙලුම්කාපු පදුරු අස්සෙන් ඇහුනා....

කිව්වත් වගේ ඕකා මුරන්ඩු කාරයා...කාගෙ හරි කැකිරි හේනක් තැරිගහලා වෙන්ඩෑ ඔය වතුර හොයන් එන්නෙ....

මන්කඩ මාරු උනා විතරයි අප්පච්චි ආයමත් කැලෑයාන්ගෙ දිහා බලාගන කියවනකොට මං ඇහෙන නෑහෙන ගානට හ්ම් ගාලා මිනියක් අදින්ඩ තියන හර්ස් එකේ රේඩියො එක දැම්මා....වෙන මොකවත්ම නෙවෙ...අනූ අටයි දශම අට .....ඒ චුට්ටකින්ම මට එයගෙ කටහඩ ඇහුනා...වෙනදා වගේම එයා වෙලාව කියනවා...

අපරාදෙ තව හෝරා බාගයයි ..එයා යනවා.....

මෙතනින් එහාට මං නෙවෙ මීක් කිව්වෙ....කොටින්ම මං නෙවෙ හුස්මක් වත් ගත්තෙ...මේ වේලුම්කාපු ෆෝමලින් සැර විද්දන හදවත මේ මනුස්සයගෙ නිවුන කටහඩ එක්ක පුදුමාකාර විදිහට බැදිලා උන්නා...දහයට පටන් අරන් හෝරා දෙකක්ම ගෙවෙනකන් ආදර හැගීම් අකිරු කරපු කොල අහුරක් අරන් ලන්කාවටම ඇහෙන්න එක එකාගෙ ආදර් කතා කියන මේ මනුස්සයගෙ මේ නිවුන කටහඩ මේ දහයෙ කනිසමෙ ආත්මෙ වගේ.....

මගෙ අතෙ තවත් ආදරෙ ඔතාපු කොලයක් තියනවා.....

බරයි...ආදර වචන උහුලන් ඉන්න කොලත් හරි බරයි....දන්නවද ආදරිය...රෑ තුන්යාමෙදි හිස් පිටු උඩ ලියවෙන ආදර වද්න් අනිත් හැම එකටම වඩා බරයි....

බ්‍රේක් එකකින් පස්සෙ ආයමත් දහයෙ කනිසම එක්ක ඔයාගෙ ආදරෙ රටටම ඇහෙන්න කියන මම සියපත් ....

ඉතින් මං ආයමත් කියනවා.....ඔයාටත් තියනවා නම් ආදර කතාවක්.....ආදරෙ වෙනුවෙන් අමුනපු වචන අහුරක්....එවන්න අපිට...

ආදරෙට ඇරෙන දොරම අපි විරහවටත් විවෘත කරනවා...

එහෙනම්....තවත් ආදර හසුනක්...උතුර්‍ර්න් කොලොම්තොටට !

"ඉතින් හන්තානට පායන හද ලස්සනද....

උඹ වලේ දවස් ගැන කියනවා....පිපෙන ඇහැලමල් වල සුවද ගැන කියනවා.....

ඉස්සරහින් පියාඹන් යන මූනිස්සම් අහුර ගැන දන්නවා උනත්....

වස්තුවෙ මං කොහොමද දන්නෙ වලේ දවස් ගැන.....

කුමාරි කඩුව මනමෙට නොදි වැද්දට දුන්නයි කියනකොට මං එදා උඹගෙ ඇස් දිලිසෙනවා දැක්කා.....එක්කො ගලන් යන මහවැලියට මාව යටවෙන්න දීලා ලතාමඩුල්ලකින් උනුහුමක් හොයාගනින් කියලා මං කියන්නද....?

හන්තනාටපායන සද ලස්සනද කියන්න....මං තවම දන්නෙ නෑ නෝනා ඒ හද කොයිවගේද කියන්න....

ඊට වඩා මේ වන්නියට පායන හද ලස්සනද කොහෙද ...

දවසක මගෙන් උඹනමට වචනයක් නාවොතින් ඔය පිපෙන ඇහැලමල් අහුරක් අරගන මාව බලන්න මං නිවාඩු ගන්න පස්කන්දට ඇවිදින් මාව බලලා යන්න.....

මං නිශ්ශංක මල්ලවාරච්චි

ශ්‍රීලංකා යුධ හමුදාව

ගජබා ඒකකය

......

හන්තනට පායනහද ඇත්තටම ලස්සනද.....

එයාගෙ කටහඩත් අර ලියුමෙන් පස්සෙ පටන් ගත්ත සින්දුවත් අහගනම මං මල්ශාලාව ඉස්සරහින් හර්ස් එක නැවැත්තුවා....

දැන් තියෙන්නෙ පෙට්ටි ගෙනියන්න....

සීල් කරාපු කෙහෙල් කොටන් දෙකක්.....

සමනා උඹ ජීවත් වෙනවද.....නැත්තන් හොයන්ඩ බැරිද....????

THANK YOU