අඳුර මැද්දෙන් වුණත් කහ පාට, නිල් පාට බල්බ් එළි දැල්වෙනවා. කොළඹ අහස මේ තරම් මනරම්ද ? ඔව්, ඒ අහස එච්චර මනරම්. Kawazaki bike එකට ගොඩ වෙලා එයත් එක්ක බෝඩිමට යන අතරතුරේ සත්සිඳු බලන් ආවේ ඒ වටපිටාව දිහා. නපුරු වුණත් සුන්දර හදවතක් තියෙන ගැරඬියා තරමටම ඒ කොළඹ අහසත් , ඒ අහස යටත් රාත්‍රියට හරි සුන්දරයි.
ඒ මොහොත කොයි තරම් සුන්දරද කියනවා නම් වෙලාවක් කලාවක් ගැන හෝ නිනව්වක් නැතුවම ඔහේ ගමන් කරන සංචාරයක් ගානයි.
එයාගේ උරහිස් දෙක බදාගෙන bike එකෙන් මෙහෙම ගමනක් යද්දි දැනෙන්නෙ හරියට කූඩුවක හිර කරන් ඉඳලා නිදහස් කරපු කුරුල්ලෙක් වගේ හැඟීමක්. නිදැල්ලේ අහස සරන කුරුල්ලෙක්.. ඒ හැඟීම හරි අමුතුයි.
ඔෆිස් එකෙන් බෝඩිමට , බෝඩිමෙන් ඔෆිස් එකට.. ඒ ජීවිතයේ තිබුනු හැම ඒකාකාරී බැඳීමක්ම බිඳලන්න සමත් වුණේ එයා. එයත් එක්ක හැමදාමත් මේ විදිහට යන්න එන්න ඇත්නම් කියලා දෙතුන් වතාවක්ම හිතුණත් අවසිහියෙන් සිහියට එන ක්ෂණයේම ඒ සිතුවිල්ල අතුරුදන් වෙනවා.
මිනිස්සූ ජීවත් වෙන්න ආස මේ වගේ බොළඳ ලෝකයක වුණත් ඒ හැමදේම සිද්ධ වෙන්නේ අවසිහිය ඇතුළේ. පියවි සිහිය ලද විගසම ආයෙමත් මිනිස්සූ මේ පොළවේ පය ගහනවා.
කිරුළපන කිට්ටුවදී කාපු ice cream එක.. එයා ජීවිතේ රස විඳපු රසවත්ම ice cream එක ඒක. තේරෙන වයසේ ඉඳන් මේ දක්වාම කොච්චර නම් ice cream රස බලල ඇත්ද. ඒ කොහොම වුණත් එච්චර රස ice cream එකක් රස බලපු පළවෙනි වතාව.
ඒකත් එක්තරා විදිහක අමතක නොවන පන්නයේ අමරණීය මතකයක්.
මිනිස්සුන්ට ඒ මතක කොච්චර නම් වැදගත් ද ? දවසක මතක් කරන්න අඬන්න හිනාවෙන්න හැමදේටම ඉතුරු වෙන්නේ ඒ මතක විතරමයි. අස්ථීර ලෝකයක ස්ථීර ජීවිත කොයින්ද. ඊළඟ තත්පරේ වුණත් මරුවා සමඟ වාසයට යන්න සිදු වෙන්න පුළුවන් . ඉතින් ගෙවෙන හැම තත්පරයක්ම සුන්දර විදිහේ මතකයක් කරගන්නවා විනා ඒ මතකයකින් විඳවීමක් කුමටද..
කහ පාට එළි දල්වගෙන අතොරක් නැතුව පාර පුරා තරඟයට පොර කන වාහන පෝළිම් අතරේ හිර වුණු ඒ දෙන්නා මොහොතකට නැවතෙනවා. ආයෙමත් ගමන් කරනවා. ජීවිතේ මේ සංචාරය කොයි තරම් නම් සුන්දරද කියලා ඒ දෙන්නටම දැනෙන්න වුණා .
දිගු ගමනක් වගේ දැනෙන්න වුණත් ඒ ගමන ඇතුළේ ජීවත් වෙන්නමයි ඒ දෙහිතම ආස කළේ. පන්නිපිටියට ඇවිත් ශ්‍රී සුමංගල පාර කිට්ටු වෙද්දිම ඒ දෙහිතටම දැනුනේ වෙන් වෙලා යන්න බැරි තරම් ලෝභකමක්. ඒත් මිගාන් එක්ක බෝඩිමට යන්නෙ කොහොමද . ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පත්තර කම්පැනි එකක වැඩ කරන මාධ්‍යවේදියෙක් ආපහු කොහොමද රෑ බයික් එකක හයේ හතරේ කොල්ලෙක් එක්ක එන්නේ ? යාළුවෙක් කියල නම් කියන්න පුළුවන් . ඒත් හිතේ තිගැස්ම.. ඒක එන්න එන්නම වැඩි වෙනවා.
" සර්... සර්... "
එයාගේ උරහිස් දෙක අල්ලගෙනම ටිකක් සද්දෙන් වගේ සත්සිඳු කතා කළේ වාහනවල ඝෝෂාව නිසා.
" කියන්න... "
එයා bike එක ride කරන ගමන්ම කිව්වා.
" මේ මං.. මං ඔය ඔතනින් බහින්නම් සර්... "
එයා කිව්ව දෙයින් ගැරඬියගේ හිත නොරිදුණත් එයා රිදුණා වගේ පෙන්නුවා.
" ඇයි මෙතනින් බහින්නේ ? මං බෝඩිම් ප්ලේස් එකට ආවොත් ඔයාට ලැජ්ජද ? "
" අනේ එහෙම දෙයක් නෙවෙයි සර්... "
" එහෙනම් ? "
" මට.. මට මේ ටික පයින් යන්න පුළුවන්... "
සත්සිඳු කිව්වට එයාව තනියම යවන්න නම් ගැරඬියගේ හිත ඉඩ දෙන්නෙ නෑ.
" අනේ මේ සත්සිඳු.. කට වහන් වරෙන්.. මෙච්චර දුරක් ඇවිල්ලා මේ ටික දුර දාන්න බැරිකමක් නෑ.. ඇයි කාට හරි බයද තමුසෙ? ආ..... බය නම් ඒකත් කියනවා.. මං බය නෑ ඔය එකෙක්ටවත්... "
ඇත්ත ඉතින්.. ලංකාවේ ඉන්න අංක එකේ පාතාලකාරයෝ එක්කත් හැප්පෙන එයාට කොයින්ද බයක් කියලා දෙයක්. බයක් කියලා නාම මාත්‍රයක්වත් එයා දන්නෙම නැති තරම්. ඒත් එයාගෙ හිත හොරකම් කරපු අහිංසකයා නොකියම ගියපු වෙලාවෙ නම් එයා උන්නේ හොඳටම බය වෙලා.
ඔච්චර දේවල් කියද්දි එන්න එපා කියන්න බෑනේ. කටවහන් ඉන්නත් කිව්වා. එයාගෙ හැටි දන්න හින්දම එතනින් එහාට එකම එක වචනයක්වත් කතා නොකරපු සත්සිඳු එයාගෙ උරහිස් දෙක තද කරලා අල්ලගෙන ඔහේ උන්නා. එයා නම් දෙතුන් වතාවක්ම side mirror එකෙන් කොල්ලා දිහා බලලා කට කොණකින් වගේ හිනාවක් දැම්මා. ඒත් කොල්ලා නම් ඒක දැක්කේ නෑ.
පන්නිපිටියෙන් ශ්‍රී සුමංගල මාවතට වැටුණු ගැරඬියගේ kawazaki bike එක ඔහේ දිගටම ඇදීගෙන ගියා. සත්සිඳු එයාගෙ උරහිස් දෙක අල්ලගත්තු ගමන්මයි. වැඩිය වේගයෙන් ride නොකරපු එක ගැන නම් කොල්ලා දෙවියන්ට පිං දිදී ආවේ.
බෝඩිම් ප්ලේස් එක ගාවට ඇවිත් බයික් එක නතර වුණා . මොනා වුණත් බෝඩිම් ප්ලේස් එකේ මිදුලටවත් බයික් එක දාන්නෙ නැතුව එයා එතනට යන පාර ගාවින් බයික් එක නතර කළා.
" බහින්නැද්ද ඉතින්... දිගටම මෙහෙම ඉන්නද කල්පනාව ? "
එයා ඇහුවේ බයික් එක නතර කරලත් එයාගෙ කරේ එල්ලීගෙන ඉන්න කොල්ලා දිහාවට යාන්තමට බෙල්ල හරවලා. ඒත් එක්කම වගේ අවසිහියෙන් සිහියට ආපු කොල්ලා එයාගෙ උරහිස් දෙක අල්ලගෙනම හෙමින් සැරේ බයික් බහිද්දි නම් මිගාන්ටත් හිනා ගියා.
ඇත්තෙන්ම හිත කිව්වෙ නම් තව ටික වෙලාවක් නපුරු ගැරඬියා ගාවට වෙලා ඉන්න කියලා. ඒත් ඉතින් එයා බහින්න කිව්වනේ..
බයික් එකෙන් බැහැලා කිසිම කතාවක් නැතුව මූණ එල්ලගෙන වගේ හෙල්මට් එක ගලවන්න හැදුවට මොකද එයාට හෙල්මට් එක ගලවගන්න බෑ. මිගාන් ඒ දිහා බලන් හිටියේ මූණේ යාන්තමට වගේ හිනාවක් රඳවාගෙන .
" කෝ මෙහෙ එන්න.. "
එයා කතා කලේ හෙල්මට් එක ගලවන්න. කතා කලාම ඉතින් නොගිහින් ඉන්න බෑනේ. සත්සිඳු හෙමින් සැරේ මිගාන් ගාවට ළං වුණාම එයා හෙමින් සැරේ හෙල්මට් එක ගලවන්න වුණා. මිගාන් හෙල්මට් එක ගලවන අතරතුර සත්සිඳු බලන් උන්නේ එයාගෙ මූණ දිහා. ඒ මූණ හරි කඩවසම් පෙනුමයි. කළු පාට පුංචි හීනි ඇස් දෙක. ශේප් කරපු රැවුල.. එයාට ඒ හැම අංගයක්ම එකතු කරලා තිබුණේ පුදුමාකාර ලස්සනක්. ඊට එහා ගියපු වෙනස්ම කඩවසම් බවක්.. ඇත්තෙන්ම ඒ මූණ හරි පිං පාටයි.
" මොකෝ... රහත් වෙලාද ? "
ගැරඬියා ඇහුවේ ඇහිපිල්ලමක්වත් නොගසා එයා දිහා බලන් ඉන්න කොල්ලගෙන්. ඒත් එක්කම පියවි සිහියට ආව කොල්ලට ලැජ්ජ හිතිලා එහෙම්මම බිම බලාගත්තා. මිගාන්ට ඉතින් හිනා..
" මං ගිහින් එන්නම් සර්... "
සත්සිඳු කිව්වේ බිම බලාගෙනමයි. ගැරඬියා බයික් එකට වෙලා ඉද්දිම සත්සිඳු යන්න හැරුණා. ඒත් එක්කම ගැරඬියගේ ජිම් බොඩියේ අතකට අහු වෙච්චි එයාගේ අතකින් ඇදලා ගත්තේ නොසිතූ විදිහට . සත්සිඳු එහෙම්මම ඇදිලා ගිහින් බයික් එක අල්ලගත්තා.
දැන් ඒ දෙන්නගේ ඇස් එකිනෙක පැටළිලා. මුළු ලොවම හරියට නිහඬ වෙලා වගේ.
" තව ටික වෙලාවක් ඉන්නකෝ... "
ගැරඬියා කිව්වේ රහසින් වගේ අහිංසක තාලෙන් ඒ ඇස් දිහා බලාගෙනමයි .
" ඇයි ? "
" යන්න දෙන්න ලෝභයි... "
එයා එහෙම්මම කිව්වා. එයා ඉතින් යකෙකුටවත් බය නෑනේ. කියන්න තියෙන දේ ඔහේ එහෙම්මම කියලා දානවා. ඒත් ඒ මොහොතේ එයාගෙ ඇස් දෙක.. ඒ ඇස් දෙක හරි ආදරණීයයි. ඒ ඇස්වල තිබුණේ දහසකුත් සිතුවිලි පිරුණු හැඟීමක්. සත්සිඳු ඒ දඩබ්බර ඇස් දිහා බලාගෙනම උන්නා.
" රෑ වෙලානෙ ඉතින්... "
සත්සිඳු උත්තර දුන්නේ එයා කලින් අහපු දේට.
" ඉතින්... ? "
" කට්ටිය දකියි... "
" මං බය නෑ... "
එයා කියන්නේ රහසින් වගේ සත්සිඳුගේ අතකිනුත් තද කරලා අල්ලගෙන . එයා බය නැති බව ඇත්ත. ඒත් ඉතින් සත්සිඳු බයයිනේ.
" මං යන්න ඕනි සර්.. පරක්කු වෙනවනේ... "
එයා කිව්වේ අහිංසක විදිහට .
" චුට්ටක් ළඟට එන්නකෝ... "
" ඇයි? "
" එන්නකෝ... "
ඒත් එක්කම කොල්ලව තව ටිකක් ළඟට ඇදලා ගන්න ගමන් එයාගෙ අතක් කොල්ලගෙ ඉණ වටේ ඔතාගත්තා.
" සර්..."
එයා කතා කළේ බයෙන් වගේ.
" ම්.... "
" කවුරු හරි දකියි... "
" ම්හ්... කවුරු දකින්නද.. "
මිගාන් බලන් උන්නේ එයාගේ ඇස් දිහා.
" ඔය ඇස් දෙක දාලා යන්න ලෝභයි දරුවෝ..."
සත්සිඳු ලාවට හිනා වෙලා බිම බලාගත්තා.
එයා වචනයක්වත් කතා කළේ නෑ.
" මේ බලන්නකෝ.. කෝ ඉතින්... "
එයා රහසින් වගේ මුමුණන්න වුණා. සත්සිඳු ආයෙමත් වතාවක් හිස ඔසවලා එයාගෙ ඇස් දිහා බැලුවා.
" යන්න දෙන්නම්.. හැබැයි පොඩි gift එකක් ඕනි... "
" ඒ මොකක්ද ? "
සත්සිඳු ඇහුවේ පුදුම වෙලා.
" මෙන්න මෙතනට පුංචි kiss එකක්... "
මිගාන් කිව්වේ එයාගේ වම් කම්මුලට දබරැඟිල්ලෙන් තට්ටුවක් දාන ගමන්.
සත්සිඳුගේ හිතටත් එයාව දාලා යන්න ලෝභයි. හිත කියනවත් වගේ එයා ගාවම ඉන්න ඇත්නම්.. ඒත් පන්හිඳ.. ඒ හිතට එරෙහි වෙන්නෙ කොහොමද . ඒ හිත දෙන ලස්සන ආදරේ.. ළඟ රැඳෙමින් හිත සනසවපු එයාගෙ ආදරේ..
ඒත් දැන් පන්හිඳ කියලා කෙනෙක් එයාගෙ සිහියේ නෑ. එයාගෙ සිහියේ ඒ මොහොතේ ඉන්නේ මිගාන් විතරමයි. හෙමින් සැරේ ගැරඬියගේ කම්මුල දිහාවට හිස නවන ගමන් එයාගෙ දෙතොල් පෙති ගැරඬියගේ කම්මුල මතින් තියලා තද කරපු සත්සිඳු තත්පර දෙක තුනක් එහෙම ඉන්න ඇති. මිගාන් ඒ තත්පර ගානම ඔහේ ඇස් පියන් උන්නා.
ඒත් එක්කම වගේ එයාගෙන් මිදුණු සත්සිඳු කණ ගාවට කරලා රහසින් මිමිණුව වචන දෙකත් එක්කම මිගාන් ඇස් විවර කළා.
" මං යනවා... "
එයා ඇස් විවර කරද්දිම වගේ ඒ වචන දෙක රහසින් මුමුණපු කොල්ලා බෝඩිම දිහාවට දුවන්න වුණා. මිගාන් ඒ දිහා බලන් උන්නේ හිනා වෙලා. ටික දුරක් දුවලා ගිහින් ආයෙමත් පිටුපසට හැරුණු කොල්ලා හිනා වෙලා අත වැනුවාම මිගානුත් එයාට අත වැනුවෙ හිනා වෙලාමයි.
එයා බෝඩිම දිහාවට දුවන් ගිහින් ඇස් මානයෙන් නොපෙනී යනතුරුම වගේ බලන් ඉඳපු මිගාන් එයාගේ දෙතොල් පෙති තියලා සිපගත්තු කම්මුල ඇඟිලි තුඩුවලින් යාන්තමට පිරිමදින්න වුණා. ඒ දෙතොල් පෙතිවල සුමුදු බව.. ඒ සිනිඳු බව ගැරඬියට හරියට දැණුනා.
මද සුළං රැල්ලක් ඇවිත් එයාගෙ ගතේ දැවටී ගෙන ගියේ ඒත් එක්කමයි. Kawazaki bike එකත් start කරගෙන එයා එතන දෙපාරක්ම horn කළේ එයා යන බව අඟවන්න. කාමරේට ගිහින් ඇඳුම් මාරු කරමින් උන්නු කොල්ලට ඒ horn එක ඇහුණම මූණේ පුංචි හිනාවකුත් රඳවගෙන මිමිණුවේ අපූරු වචන දෙකක් .
" පරිස්සමින් යන්න... "
Start කරගත්‍තු bike එක ශ්‍රී සුමංගල පාර දිගේ ආපස්සට ඇදුණේ ගිනි වේගෙන්.
විසල් අහස මැද හිස් ඉඩක් තිබෙනු දුටුවහොත් ඒ ඉඩෙහි හදවත් දෙකක් ලස්සනට සිතුවම් කරන්න බැරිද.. ඇයි බැරි? ඒ අහසේ වලාකුළක ආදරේ තවරලා කොච්චර ලස්සනට සිතුවම් කරන්න පුළුවන්ද. තැනින් තැනට ඒ වලාකුළ ගමන් කරාවි. තනියෙන් නෙවෙයි අර ආදරෙත් හංගගෙන.
ඇත්තමයි, කන්දක් නැග්ගොත් පල්ලමක් හමු වෙනවාමයි. ගිරි දුර්ග මතින් ගෙවන් යන ගමන කොච්චර කටුක වුණත් වසන්තයේ සෘතුවක මන්දාරම් වැහි වැටෙනවා සත්තයි. ජීවිතේ අමාරු කාල පහු කළාම වසන්තය එනවාමයි. උතුරන්න තරම් ආදරෙත් එක්ක...
හඳ එළිය වුණත් රෑ අහසේ ඉඟි බිඟි කරනවා. වෙහෙසක් මහන්සියක් කියලා දෙයක් ඒ දෙහිතටම නැති තරම්. උද්‍යෝගිමත් භාවයක් එක්ක මුහු වෙලා ජීවිතයේ අලුත් පෙරවදනකට මුල පුරන දවසක් වගේමයි ඒ දවස.
තත්පර ගෙවෙනවා. හිතුවක්කාර විදිහට එයාගේ හිතු මනාපෙට ඒ තත්පර ඔහේ ගෙවෙනවා. මිගාන් කියන්නේ හරියට පෙරළිකාර අශ්වයෙක් වගේ. අශ්වයෙකුට ආදරය කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නෑ කියලා කියන්නේ නිකන් නෙවෙයි. ගැරඬියා කියන්නේ ඒ වගේ පෙරළිකාර අශ්වයෙක්. එයාගෙ හිතු මනාපය එයාට ඕනි විදිහට .
එහෙව් පෙරළිකාර අශ්වයෙක්ට මොකටද අසරුවෙක්. ජීවිතේ පෙරළි කරන අශ්වයෙක්ට ආදරේ කරනවා නම් වේගය කියන්නේ අබ ඇටයකටවත් වඩා සුළු දෙයක්. ඒ තරමටම වේගය අභිබවා යන්න ඒ හිතට පුළුවන්. තත්පර ගෙවන කාලයට ඇයි ඉතින් බයවෙන්නේ. කාලය ගෙවන්නෙත් වේගය නම් ඇයි කාලයට බය.. ඒ පෙරළිකාර අශ්වයා කාලයේ සීමාවෙන් අසීමාන්තික වේගයකින් ඒ හිත එතෙර කරනවා සත්තයි.
නටුවෙන් මුදා හළ වරා මලකට තරම් නිදහසක් දැනුනු ඒ ගණනය නොකෙරූ කාල සීමාවක් තරම් ජීවිතයේ නිදහසක් භුක්ති විඳි මොහොතක් ගැන නම් සත්සිඳුට මතකයේ නැති තරම්. ඇඳුම් ටිකත් මාරු කරගෙන එයා එහෙම්මම underwear එක පිටින්ම ඇඳට පැන්නේ සිවිලිම දිහා බලාගෙන. කල්පනා කරන්න නම් දහසකුත් දේවල් තියෙනවා . එයාගේ මූණෙ රැඳුණු ඒ හිනාව කිව්වෙම එයා ගොඩක් සතුටින් ඉන්න බව. ඒත් ඒ සතුට තාවකාලික වුණේ ලත් ඇසිල්ලෙන් පන්හිඳ හිතට ආව හින්දා.
හිරවෙලා උන්නූ ප්‍රේමාන්විත රෝමාන්තික මනෝ ලෝකයෙන් හිත ඇද ගන්න ගමන් මහ වරදකාරී හැඟීමකින් අර මූණේ රැඳුණු සිනාව අතුරුදන් කරගත්‍තු එයා කල්පනාවට වැටුණා . හිත ආදරේ කරන්නේ කාටද ? එක හිත දෙතැනක නතර වෙලා පෙරළි කරනවා. එක පැත්තක පෙරළිකාර අශ්වයෙක් වුණු ආදරණීය ගැරඬියා. අනිත් පැත්තෙන් පන්හිඳ අයියා. ඒත් හිත ඇත්තෙන්ම ආදරේ කරන්නෙ කාටද. ඒක නම් එයාටවත් හිතාගන්න බැරි තරම්. කාලයත් එක්ක හිත් වෙනස් වෙනවා සත්‍ය වුණත් පන්හිඳ නැති ලෝකයක් ගැන හිතන්නෙවත් කොහොමද ? එයා දුන්නු ආදරේ, එයා දෙන ආදරේ.. එයා පරිස්සම් කරන හැටි.. අර හිතත් ඊට නොදෙවෙනි නෑ ඉතින්. මිගාන් එයාව පරිස්සම් කරන්නෙත් එහෙම්මමයි . ඒ ආදරේ දෙන්නෙත් එහෙම්මමයි . ඒත් වැරැද්ද කාගෙද කියලා සත්සිඳුට හිතාගන්නත් බෑ. වැරැද්ද එයාගෙද, නැත්නම් දෙතැනක නතර වෙලා අවිනිශ්චිත හැඟීමකින් වැට උඩ ඉන්න එයාගෙ හිතද..
වෙලාව රෑ 9 පහු වෙලා මිනිත්තු ගානකුත් ගෙවිලා ගිහින් තිබුණා. මිස්ටර් හඳගමගේ අලුත්ම ෆිල්ම් එකේ shooting වලට ගිහින් එන ගමන් ක්ලෙයාරා restaurant එකකට ගිහින් dinner එකත් අරගෙනම ආවේ ගෙදර ඇවිත් තනියම උයන්න කම්මැලි නිසා. Gate එකෙන් ඇතුළට දාපු car එක park කරලා එයා එහෙම්මම දොර විවර කරද්දි දොර නිකන්ම තල්ලු වෙලා ගියා. ඒත් උදේ යද්දි දොර වහලා ගියා කියලා එයාට හොඳටම විශ්වාසයි.
එයා දොරත් විවර කරන් ඇතුළට ගියේ සැකයෙන් වගේ. එහෙම්මම living room එකේ lights on කරලා බැලුවේ මොකක් හරි වෙනසක් තියෙනවද කියලා. ඒත් එහෙම හොයාගන්න තරම් අමුත්තක් නම් තිබුණේ නෑ.
එහෙම්මම සෝෆා එකේ ඇලවුණු එයා කැරකෙන විදුලි පංකාව දිහා බලාගෙනම ඔහේ කල්පනාවට වැටුණා. හිතට කොච්චර දේවල් ආවා වුණත් ඒවා වචනවලට පෙරළලා කියන්න තරම් කෙනෙක් එයාට උන්නේ නෑ. Husband නැති අඩුව එයාට හොඳටම දැනෙන්න අරන්. එයා රට යන්න ඉස්සර ගෙවපු සතුටුදායක ජීවිතය.. කෝ දැන් ඒ සතුට ? ඒ සතුට හොරු අරන් ගිහින් වගේ.
ඒත් කාලයත් එක්ක ඩිනෝ ඇවිත් ඒ ජීවිතය ලස්සන කරපු හැටි. අසම්මත බව දැන දැනත් husband නැති අතරේ ඩිනෝ එක්ක අනියම් පෙමක පැටළුනු හැටි..
ගැහැණියක් විදිහට සැමියාගෙන් නොදැක්ක ඒ කඩවසම් බව, ඒ පෞරුෂය එයාගෙන් දකිද්දී.. අත දිග ඇරලා එයා වෙනුවෙන් කොල්ලා සල්ලි වියදම් කරද්දී.. සැමියාගෙන් නොලැබූ තෘප්තියක් සයනයේදී එයාගෙන් ලැබෙද්දී.. ඔව් , ඒ හිත ඩිනෝ මිගාන් සමරදිවාකරට ලෝබ කරන්න වුණා . ඒක ආදරයක්ද , නැත්නම් ආකර්ෂණයක්ද කියලා ක්ලෙයාරාටවත් හිතාගන්න බෑ.
ඒත් දැන් දැන් ඩිනෝ කතා කරන එක, මුණ ගැහෙන එක අඩුවෙන්න අඩුවෙන්න දැනෙන්නේ පාළුවක් විතරමයි. හිතත්, ගතත් ඒ පාළුවෙන් මිරිකෙනවා.
එයා එහෙම්මම නැඟිටලා kitchen එකට ගිහින් ෆ්‍රිජ් එක විවර කරලා බියර් bottle එකකුත් අරන් , glass එකකට හලා ගෙන ඇවිත් ආයෙමත් සෝෆා එකේ වාඩි වුණා.
රතු පාට තවරපු තොල් පෙති අතර බියර් වීදුරුව රඳවගෙන එයා බියර් එකේ රස බලමින් උන්නා. මත් නොවී මත් වෙන්න ඕනි වුණේ ඒ ගතේ වෙහෙසටත් වඩා සිතේ වෙහෙස වැඩි නිසාමයි.
ඊටත් එහා ගිහින් අහස්වි කරුණාරත්න දැන් දැන් එයාටත් වඩා ලංකාවේ famous වෙද්දි එයාට දරාගන්නම බෑ. හරියට ගණන් කරගන්න බැරි වුනාට මොකද එයා බියර් වීදුරු හයක්ම හිස් කළා.
බියර් එක branded එකක් නොවුණු නිසා එයාට එච්චර මත් ගතියක් නෑ. ඒත් ක්ලෙයාරාට ඕනි වුණේ මත් වෙන්නමයි. හීල්ස් දෙකත් ගලවලා පැත්තකට විසි කරපු ක්ලෙයාරා සෝෆා එකෙන් නැඟිටලා පඩිපෙළ නගින්න වුණේ හරි පරිස්සමින්.
මත් වුණේ නෑ කිව්වට එයා උන්නේ මත් වෙලා. හිතේ පාළු ගතියත් එක්ක ඒ මත් ගතිය තව තවත් වැඩිවෙනවා මිස අඩුවක් නම් නෑ.
පඩිපෙළ නැඟගෙන ගිහින් කාමරේ දොර විවර කරපු ක්ලෙයාරා lights on කරද්දී කාමරේ ඇඳ උඩ දැකපු දේ.. මත් ගතිය නිසා බොඳ වෙලා වගේ තිබුණු ඇස් දෙක එහෙම්මම පිස දාලා වගේ පැහැදිලි කරගත්තු ක්ලෙයාරා ඒ දසුන දිහා බලන් උන්නේ බයෙන් වගේම සැකෙන්. අඩියක් දෙකක් පිටිපස්සට යන ගමන් හදවතේ තිගැස්ම වැඩි වෙද්දි බය වැඩි කමටම මුවට ඔහේ ගලන් ආපු වචන දෙක එයා එහෙම්මම කියලා දැම්මා.
" ක්..ක්..කවුද උඹ.. ? "
මීළඟ කොටසට ...